මතක නොකරන අමතක නොවන දවස! Part 1
අප්‍රේල් විසිහත අදට හරියටම අවුරුද්දයි. මතක නොකළත් හිතුවක්කාරව ඇවිත් සිත පාරන දවස. මා තිරිසනෙක් කළ... නෑ... නෑ... තිරිසනෙකුටත් වඩා...දැන් හිතෙනකොටත්.. හිරිකිතයි. කියන්නද... ඇයට කිව්වොත් මොනව වෙයිද... ඔහු අදත් මා සමඟ සාමාන්‍ය ලෙසින් හැසිරෙන්නේ සත්‍යය නොදන්නා නිසයි. දන්නේ මමයි...මම විතරමයි. මම නරක මිනිහෙක් නොවෙයි එදා මා කල ඒ දෙයේ තරම මට නොදැනෙන්න ඇත්තේ ආගමික දැනීම අතින්ද එය පිළිපැදීම අතින්ද මා සිටියේ බොහොම පිටුපසින් නිසාය. ආගමික පැත්තට වූ මගේ නැම්බුරුවීම වැඩිවෙත්ම මා කළ වරදේ බැරෑරුම්බව වැඩි වැඩියෙන් දැන්නට විය. සිත පාරන්නට විය. කාටවත් කියන්නත් බෑ කිව්වොත් මට කෙළ ගහයි. නොකිව්වොත් හිත පැලෙයි. චී... මන් වගේ මිනිහෙක්. මම තිරනයකට ආවා මම කියනවා. ඔබට කියනවා...ඕනෑ දෙයක් හිතාගන්න...මට කමක් නෑ සිත අකුරුකර මෙන්න මෙහෙම දිග අරිනවා.